ගමනක් බිමනක් යද්දී පුංචි පැටියා වෙනුවෙන් සුදානම් කළ යුතු දේවල් මොනවාද?

By: - 2018 දෙසැම්බර් 18
baby


අපේ හුරතල් දරු පැටව් එක්ක ගමනක් බිමනක් යන්න ලොකු ආසාවක් හැම අම්මෙක් තත්තෙක්ගේම හිතේ තියෙනවා. දරු පැටියා දැනුම් තේරුම් නැති වයසේ පුංචි පුංචි වෙනස් දේවල්, පරිසරය හඳුන්වලා දීම වගේ දේවල් කරන්න විශේෂයෙන්ම තාත්තලා හරිම කැමතියි. ඇත්තටම ඒ දේවල් දරුවන්ට මිල කරන්න බැරි තරම් වටිනා අත්දැකීම් වෙනවා. ඒත් ඉතිං පුංචි පැටියා ගමනක් බිමනක් එක්ක යන එක ටිකක් සැලසුම් කරන්න නම් වෙනවා. මොකද පැටිය පුංචි නිසා අවශ්‍යතා ටිකක් වැඩියි. අපි කල්තියා සුදානම් වුණත් අත්‍යවශ්‍යම දෙයක් මග ඇරෙන්න බැරි නැහැ. එහෙමයි කියලා මේ තරම් සතුටක් දැනෙන අවස්ථාවක් මග හරින්න බැහැනේ. අන්න ඒ නිසාම අපි හිතුවා පුංචි පැංචන්වත් අරගෙන ගමනක් බිමනක් යනකොට සූදානම් කරගන්න ඕනේ මොනවද කියලා කතා කොළොත් හොඳයි කියලා.

ඔන්න ඉතිං අපි යන්නේ දුර ගමනක් ද ළඟ ගමනක්ද කියන එක අනුව ගෙන යා යුතු බඩු භාණ්ඩත් වෙනස් වෙනවා. ඒ කොහොම වුණත් ඔය හැම ගමනටම පොදු විදිහට සකස් කරගත් බෑg එකක් නිතරම තියාගන්න එක අම්මලාට පහසුවක්. එතකොට හදිසි අසනීප තත්ත්වයකදී වුණත් පමාවකින් තොරව වෛද්‍යවරයා හමුවෙන්න යන්න පුළුවන්. නිකමට වගේ අපි මේ බෑග් එකට "පෙර සූදානම් බෑගය" කියලා කියමු. දැන් බලමුකෝ මොනවද මේ පෙර සූදානම් බෑගයේ තිබිය යුත්තේ කියලා.

  • චූටි පැටියට ඩයපර කිහිපයක්
  • අමතර ඇඳුම්/ නැප්කින් කිහිපයක් වගේම පුංචි තුවායක් හා පොරවන දෙකක් පමණ
  • වෙට් වයිප් පැකට් එකක්
  • කුඩා පනාවක්
  • ප්‍රථමාධාර කට්ටලයක් (උණ කටුව/තුවාලයක් ඇති වුණොත් පිරිසිදු කිරීමට පිරිසිදුකාරකයක්/තුවාල සඳහා ආලේප කරන ක්‍රීම් වර්ගයක්/පුඵන්/කුඩා කතුරක්/ප්ලාස්ටර් රෝලක්)

ඔය මූලිකව බෑගයේ තිබිය යුතු දේවල්. අපේ ගමනේ දිගු කෙටි බව අනුව ඔය තියෙන දේවල් වල ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. එහෙනම් අම්මලා මේ විදිහට "පෙර සූදානම් බෑගය"ක් අදම පිළියෙල කරගනිමු නේද?

දරුවන් එක්ක ගමනක් බිමනක් යනකොට එයාලගේ පෝෂණය ගැනත් හිතන්නම ඕනේ. චුට්ටෝ කියන්නේ පොඩි බඩගිනිකාරයොනේ. පහසුවෙන් පිළියෙල කරගන්න පුළුවන් ත්‍රිපෝෂ හෝ සුපෝෂ කුඩා ඇසුරුම්වල අසුරා ගන්න. දරුවා කැමැති පලතුරු වර්ගයක් කුඩා කැබලිවලට කපාගන්න. චීස් කැබලි කිහිපයක් බිස්කට් වර්ගයක් සුදානම් කර ගන්න.

මෙන්න මේ විදියට නිවසේදීම පිළියෙල කරගත් කෑම බීම අරන් යන්න පුළුවන් නම් පිරිසිදු බව පිළිබඳ ගැටලුවක් නම් ඇතිව වෙන්නේ නැහැ. පුංචි බන්ඩි ගෙඩි විෂබීජවලින් ආරක්ෂා කර ඔවුන්ව නිරෝගීව තියාගන්න නිවසේ පිළියෙල කරගත් කෑම ලබා දීම බොහොම වටිනවා. නිවසේදීම පිරිසිඳුව හදාගන්නට හැකි අහාර වර්ග කිහිපයක් තමයි පොල් රොටී, බනිස්, සැන්විච්, පැස්ටා, නූඞ්ල්ස්, අග්ගලා වැනි ආහාර. ඒත් එක්කම පොඩි උණුවතුර බෝතලයක් ගෙනයාමත් ඔබට පහසුවක් වේවි. පිටිකිරි බොන දරුවෙක් නම් කිරිපිටි, සීනි කුඩා බෝතල්වල අසුරා බෑගයට දමා ගන්න. ආහාර වර්ගවලට අමතරව පෝෂණ මල්ලට පළතුරු කපන පිහියක්, හැඳි කිහිපයක්, පිඟන් හා කෝප්ප කිහිපයක් වෙන් කරලා තියා ගත්තොත් ඔබට තවත් පහසුවක් වේවි.

පෝෂණ මල්ලට අත්‍යවශ්‍ය වතුර ගැනත් කතා කරමු. දරුවන්ට බොන්න උතුරා නිවා ගත් වතුර බෝතල් සූදානම් කරගන්න. ඊට අමතරව ටිකක් ලොකු වතුර බෝතලයක් ගෙන යන්නත් අමතක කරන්න එපා, හදිසියේවත් පැටියා වමනෙ දැම්මොත්, කක්කා දැම්මොත් සෝදන්න වගේම කෑමට පෙර අත සෝදන්න මෙන්න මේ අමතර වතුර බෝතලය තිබීම ඔබට පහසුවක් වේවි.

අපි ගමන යන්නේ පොදු වාහනයකද අපේම වාහනයකද කියන කාරණය මත ගෙන යායුතු බඩු ප්‍රමාණය තීරණය වෙනවා. හැබැයි අර කලින් කියපු බෑග් දෙකේම පැටියට අත්‍යවශ්‍ය දේවල් තියෙන නිසා ඒවා ප්‍රමාණය පමණක් වෙනස් කරලා ගෙනියන්න සූදානම් කර ගත්තොත් හොඳයි නේද?

අපේම වාහනයක යනවා නම් කොට්ට කිහිපයක් ගෙනියන්න. චූටි පැටවුන්ට ඉතින් වාහනේට නැගලා ඩිංග දුරක් ගිය ගමන් නින්ද යනවානේ. දරුවාට සුව පහසුවට නිදාගෙන යන්න පුළුවන් විදිහට කොට්ට තබන්න හැකිවීම ගමනට පහසුවක් වෙයි. දුර ගමනක් යනකොට පුංචි දඟයන්ට එයාලගේ වයසට ගැලපෙන සෙල්ලම් බඩු කිහිපයක් , පින්තූර පොත්, කතන්දර පොත්, පාට පැන්සල්, පැස්ටල් හා කඩදාසී ආදිය ගෙන යාමෙන් එකම තැන බොහෝ වෙලා ඉන්න වෙන නිසා කලබල කරන මේ දඟයන්ව සන්සුන් කරගන්න පහසුවක් වේවි.

දවස් කිහිපයක ගමනක් යනවා නම් අනිවාර්යයෙන්ම පැටියගෙ වෛද්‍ය වාර්තා සියල්ලම ගෙන යන්නත් අමතක කරන්න එපා. කිලිටි ඇඳුම් දැමීමට සහ අපද්‍රව්‍ය බැහැර කරන්නට වෙනම බෑග් කිහිපයක් ගෙන යන්න. පැටියා පොටියට හුරු නම් අනිවාර්යෙන් පොටිය ගෙන යන්න අමතක කරන්න නම් එපා. මොකද එයාට පුරුදු පොටි එක නැති වුණාම ඒ කාර්යයන් හරි හැටි සිදු නොවෙන නිසා පැටියට ශාරීරික අපහසුතාවයක් ඇති විය හැකියි. ඒ නිසා අනිවාර්යෙන්ම අරගෙන යන්න. කුඩා මදුරු දැලක්, අමතර ඇඳ ඇතිරිල්ලක් ඔබේ ගමන් මල්ලට එක් කරන්න.

මේ විදහට කල් තියාම සූදානම් වුණොත් නම් පැටව් කාට කාටත් ගමන බොහොම පහසු වේවි. එහෙනම් ඔන්න ඔයාලත් සූදානම් වෙන්න.

දිශාන්ති වෙදගේ

Terms and conditions

All the articles and videos that publish on Baby Cheramy website is an intellectual property of the Hemas Manufacturing (Pvt) Ltd. It’s illegal to publish our articles or images on other websites, printed media or electronic media without having a written permission of the company.Read More