සාමාන්‍ය ප්‍රසූතියට පහසු පරිදි දරු පැටියා හැරිලා නැද්ද?

By: - 2019 පෙබරවාරි 27
baby


දරුවන් යනු දෙමව්පියන්ට සම්පතකි. එය කුළුඳුලේම දරුවාට පමණක් අවේනික වූවක් නොව පවුලේ සියලු දරුවන් වෙනුවෙන් පොදු වූ ලක්ෂණයකි. එනිසාම දරු ප්‍රසූතියට පෙර ගර්භණි සමයේදී මව්වරුන් ඉතා ආරක්ෂාකාරීව කටයුතු කිරීමට පටන් ගනී. එවැනි සමයක පවුලේ සියල්ලෝද ඒ වෙනුවෙන් තමන්ගේ උපරිම සහයෝගය දීමට මැලි නොවන බවද අපි දනිමු. ඒ සියල්ලක්ම සිදුවන්නේ වඩා ආරක්ෂාකාරී වටපිටාවක් තුළ දරුවා මෙලොව එළිය දකින බලාපොරොත්තුවෙනි. ගර්භණි සමය තුළ මව කෙතරම් ආරක්ෂාකාරී වුවද සාමාන්‍ය ප්‍රසූතියකට යා නොහැකි අයුරේ බාධාවන් මතුවිය හැකි ස්වභාවික අවස්ථාවන්ද ඇත. Breech Presentation නොඑසේනම් සාමාන්‍ය ප්‍රසුතියකට පහසු වන අයුරින් ළදරුවාගේ හිස පහතට හැරී නොතිබීම එනම් දරුවා තට්ටමෙන් පිහිටීම එවැනි තත්ත්වයකි.

සාමාන්‍යයෙන් 95% ළදරුවන්ගේ කුස තුළ ගෙවන 36 වන සතිය සම්පූර්ණ වෙත්ම වාගේ හිස ක්‍රම ක්‍රමයෙන් පහතට හැරීම සිදුවුවත් 5%ක පමණ ප්‍රමාණයකගේ එසේ සිදු නොවේ. නමුත් සංකූලතාවලින් තොර ගර්භණි තත්ත්වයකදී සති 36කට පෙර මෙවැනි තත්ත්වයන් පැවතීම බියවිය යුතු කරුණක් නොවේ. එහෙත් සති 36 අවසන් වූ පසුවත් තත්ත්වය එලෙසම නම් එය ගැටලුකාරී තත්ත්වයක් ලෙස හඳුන්වයි. වැදෑමහ පහතින් පිහිටා තිබීම, ගර්භාෂයේ ෆයිබරොයිඩ් ගෙඩි හටගෙන තිබීම, ගර්භාෂයේ සහ කලලයේ පවතින යම් යම් අසාමාන්‍යතා ප්‍රධාන වශයෙන් මව්කුස තුළ වැඩෙන ළදරුවෙකුගේ හිස පහළට හැරීම නිසි ලෙස සිදු නොවීමට බලපෑ හැකි හේතු කාරණා ලෙස දැක්විය හැකිය. එමෙන්ම මින් එකඳු තත්ත්වයක් නොමැතිව වුවද මෙවැනි තත්ත්වයකට මුහුණපාන ළදරුවන්ද සිටියි. සාමාන්‍යයෙන් ළදරුවා හිස පහළට සිටින සේ හැරී නොමැති බව කල්තියා දැනගත්විට එම මව සාමාන්‍යය ප්‍රසූතියකට නිර්දේශ කිරීම යම්තාක් දුරකට ගැටලුකාරී වන්නේ සාමාන්‍ය ප්‍රසූති අවස්ථාවලදී මවට මෙන්ම ළදරුවාට යම් යම් සංකුලතා ඇතිවීමේ අවධානමක් පැවතින බැවිනි. මෙවැනි තත්ත්වයන්හිදී සාමාන්‍ය ප්‍රසූතිය පහසු කරවීමේ අරමුණෙන් බාහිරින් මවගේ කුස මතට ලබා දෙන තෙරපුමක් ආධාරයෙන් ළදරුවා හැරවීමට වෛද්‍යවරුන් උත්සාහ කරන අතරම එය EVC ක්‍රියාවලිය ලෙස හඳුන්වයි.

මෙසේ සිදු කරනු ලබන EVC ක්‍රියාවලිය සාර්ථක වූ මව්වරුන් සාමාන්‍ය දරු ප්‍රසූතියට යොමු කල හැකි අතරම අසාර්ථක වූ මව්වරුන් (වෙනත් සංකූලතාවලින් තොර නම් පමණක්) සිසේරියන් සැත්කම් සඳහා යොමු කරයි. එසේම දරුවා ප්‍රසුතියට පහසු ආකාරයෙන් පිහිටා නැති EVC ක්‍රියාවලියට යොමු විය යුතු මව්වරුන් ඒ සඳහා විරුද්ධත්වයක් ප්‍රකාශ කරන්නේ නම් ඔවුන්ද සිසේරියන් සැත්කම වෙත යොමු කෙරේ. කෙසේ වුවද පළමු ප්‍රසූතිය සිසේරියන් සැත්කම හරහා සිදු කළ මව්වරුන් සාමාන්‍යයෙන් මෙම ක්‍රියාවලියට භාජනය නොකරයි.

EVC ක්‍රියාවලිය නොඑසේනම් External Cephalic Version පිළිබඳවද මෙහිදී ඔබව දැනුවත් කිරීම අපගේ අරමුණයි.

මවක් EVC ක්‍රියාවලියට ලක්කිරීමට පෙර ස්කෑන් පරීක්ෂණයක් වෙත යොමු කෙරෙන අතර ළදරුවාගේ අසාමාන්‍යතා ඇත්දැයි සොයා බලා තත්ත්වය සාමාන්‍ය නම් ඒ මවට රෝහල්ගත වීමට දිනයක් වෙලාවක් ලබා දී ECV ක්‍රියාවලිය වෙත යොමු කරයි. පළමු වරට ගැබ්ගත් කාන්තාවක් නම් EVC ක්‍රියාවලියට යොමු කෙරෙන්නේ ගැබිනි සමයේ සති 36ත් 37ත් අතර කාලයේදීය. දෙවන හෝ තෙවන දරුවන් සඳහා ගැබ්ගත කාන්තාවක් නම් ගැබිනි සමයේ සති 37ත් 38ත් අතර කාලයේදීය. මෙහිදී ස්කෑන් පරීක්ෂණයක් මගින් නිරීක්ෂණය කරන අතරතුර බාහිරින් මවගේ කුස මත තෙරපුමක් ලබාදෙමින් ළදරුවා නිවැරදි ඉරියව්ව වෙත ගෙන ඒම සිදුවෙයි. මෙය නිර්වින්දනයකින් තොරව සිදුකරන ක්‍රියාවලියක් වන අතර එම හේතුව නිසා මවට යම් අපහසුතාවයක් ගෙන දෙයි. ක්‍රියාවලිය සාර්ථකව අවසන් වීමෙන් අනතුරුව එම මවට සාමාන්‍ය ප්‍රසූතියකට මුහුණ දීමට අවස්ථාව ලැබේ. නමුත් ප්‍රසූතියට පෙරද නැවතත් ස්කෑන් පරීක්ෂණයක් මගින් කලලයේ පිහිටීම නැවත පරීක්ෂා කරන අතරම එයට හේතුව වන්නේ ඉතා කලාතුරකින් එම පිහිටීම නැවත වෙනස්වන අවස්ථා තිබිය හැකි බැවිනි. ECV ක්‍රියාවලියකින් පසුව මව CTG පරීක්ෂණයකට යොමු කෙරෙන අතරම එහි ප්‍රථිපලවල ගැටලුවක් නොවේ නම් පමණක් මවට රෝහලෙන් පිටව යා හැකිය.

එසේම දරුවා තට්ටමෙන් පිහිටියද සාමන්‍ය ප්‍රසූතියට යොමු වීමට කැමැත්තක් දක්වන ඇතැම් මව්වරුන්ද සිටින අතරම එවැනි තත්ත්වයකදී යම් යම් සංකුලතා ඇති වීමේ ඉඩකඩද පවතින බැවින් නිසි පළපුරුදු වෛද්‍යවරයෙකු යටතේ එය සිදු කළ යුතුය. එසේම මවගේ ඉවසීම සහ සහයෝගය උපරිමයෙන් ලබා දීම ප්‍රසූතිය සාර්ථක කරගැනීමට ඉවහල් වේ. එවැනි මව්වරුන් ප්‍රසූත වේදනාව දැනුණු වහාම රෝහල්ගත වීමද අත්‍යවශ්‍යය.

EVC ක්‍රියාවලිය අසාර්ථක වූ හෝ ඒ සඳහා කැමැත්ත පල නොකළ මව්වරුන් සිසේරියන් සැත්කම වෙත යොමු කරන බව අප මිට පෙරද සඳහන් කළ නමුත් ප්‍රසූතියට පෙර සිදුකරන ස්කෑන් පරීක්ෂණයට අනුව දරුවා සාමාන්‍ය ප්‍රසූතියකට සුදුසු තත්ත්වයෙන් සිටී නම් එම මව යොමුකරනු ලබන්නේ සාමාන්‍ය ප්‍රසූතියකටය. සාමාන්‍ය හෝ සිසේරියන් යන කුමන ආකාරයට ප්‍රසූතිය සිදු වුවත් වෙනසක් නොමැතිව දරුවා හොඳින් පරීක්ෂා කිරීම සිදුවන අතරම පෙර ප්‍රසුතියේදී මෙවැනි අත්දැකීමක් ඇති මව්වරුන් ඊලග ප්‍රසුතියේදී ඒ පිළිබඳව වෛද්‍යවරුන් දැනුවත් කල යුතුය.

කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය, රාගම උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලේ ප‍්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ටිරාන් ඩයස් මහතා සමග සකසන ලද ලිපියකි.

සම්බන්ධිත ලිපි

Terms and conditions

All the articles and videos that publish on Baby Cheramy website is an intellectual property of the Hemas Manufacturing (Pvt) Ltd. It’s illegal to publish our articles or images on other websites, printed media or electronic media without having a written permission of the company.Read More