ප්‍රසූතියෙන් පසු ඇති වන රුධිර වහනයේ සාමාන්‍ය අසාමාන්‍යතා ගැන දැනුවත් වෙමු

By: - 2019 අගෝස්තු 22
baby


ප්‍රසූතිය කියන්නේ කාන්තාවක් මුහුණ දෙන තරමක් අපහසු අත්දැකීමක්. ඒත් දරු පැටියාගේ මුහුණ දැකගන්න තියෙන ආසාවත් මව් සෙනෙහසත් නිසා බොහොම ධෛර්යවන්තව හැම කාන්තාවක්ම එයට මුහුණ දෙනවා. ප්‍රසූතිය පිළිබඳව බොහෝ කරුණු ඔබ වෙත ගෙන එමින් මින් පෙර ලිපිවලදී ඔබව දැනුවත් කල බව මතක ඇති. මේ ලිපිය තුළින් අපි බලාපොරොත්තු වන්නේ ප්‍රසූතියෙන් පසුව ඔබ දැනුවත් විය යුතු වැදගත් කරුණක් පිළිබඳව තොරතුරු ගෙන ඒමටයි. ඒ ප්‍රසූතියෙන් පසුව සිදුවන රුධිර වහනය පිළිබඳවයි. ප්‍රසූතියෙන් පසු සිදුවන රුධිර වහනයේ සාමාන්‍ය අසාමාන්‍යතා පිළිබඳව යම් අවබෝධයක් ඔබ සතුව තිබීම වෛද්‍යවරයෙකු වෙත යොමු වීමට අවශ්‍ය අවස්ථාවක් වුවද හඳුනා ගැනීමට සහය වනු ඇත. මේ දැනුවත් කිරීම ඒ වෙනුවෙනි.

සාමාන්‍යයෙන් දරු උපතේ සිට සති 6 ක කාලය තුළ ශරීර පටක, ශ්‍රෝණි අවයව යථා තත්ත්වයට පත්වීම සිදුවෙනවා. මෙම කාලය අවස්ථා තුනකට වෙන් කළ හැකියි. එනම්,

  • උපතේ සිට පැය 24 දක්වා.
  • පැය 24- දින 7 ක් දක්වා.
  • දින 7 - සති 3 දක්වා ලෙසයි.

මෙම කාලය තුළ යෝනි මාර්ගය හරහා පිටවන ශ්‍රාවය Lochia ලෙස හඳුන්වයි. Lochia හි ආවේණික ගන්ධයක් ඇති අතර දුර්ගන්ධයක් (offensive odor) නැත. එසේ පවතින්නේ නම් එය ආසාධනයක ලක්‍ෂණයක් ද විය හැක. මෙම Lochia ශ්‍රාවය වීම සති 3 ක් හෝ ඊට ආසන්න කාලයක් පවතින අතර දුර්ගන්ධයක් හෝ වෙනත් ආසාධනයක ලක්‍ෂණ නොමැති නම් එම තත්ත්වය සාමාන්‍ය වේ. මෙය ඕනෑම කාන්තාවකට දරුවෙකු බිහි කිරීමෙන් පසුව ඇති වන සාමාන්‍ය යෝනි ශ්‍රාවයකි.

Lochia ශ්‍රාවයේ පැහැයේ වෙනස්කම් මත වර්ග 3 ක් දැක්විය හැක.

එනම්,

  • Lochia Rubra
  • Lochia Serosa
  • Lochia Alba
Lochia Rubra

මෙය රතු පැහැ වන අතර ප්‍රසූතියෙන් මුල් දින 3 - 5 දක්වා පසු ප්‍රසව කාලය තුළදී යෝනි මාර්ගයෙන් ඉවත් වේ. මෙහි රතු රුධිර සෛල ඉතිරි වූ පටක කොටස් අන්තර්ගතය.

Lochia Serosa

මෙය Lochia Rubra වලට වඩා රත් පැහැයෙන් අඩුය. එනම් රෝස පැහැතිය. මෙම රතු රුධිර සෛල අඩු ප්‍රමාණයක් හා වැඩිපුර සුදු රුධිර සෛල, තුවාලවලින් පිට කරන ශ්‍රාවයන්, ඉතිරි වූ පටක හා ශ්ලේෂ්මය අන්තර්ගතය. මෙම ශ්‍රාවය ඉවත් වීම දින 5-9 දක්වා කාලයේදී සිදු වේ.

Lochia Alba

පසු ප්‍රසවයේ 10 දිනෙන් පමණ ශ්‍රාවය ඇරඹී දින 10-15 දක්වා දින 5 ක කාලයක් පවතින මෙය සුදු පැහැති, ඇලෙන සුලු ස්වභාවයක් පෙන්වන අතර මෙහි සුදු රුධිර සෛල, ඉතිරි සෛල හා ශ්ලේෂමලය පවතී.

ප්‍රසූතියෙන් පසුව ඇති වන රුධිර වහනයෙහි අසාමාන්‍යතා

දරුවෙකු ප්‍රසූත කිරීමෙන් පසුව සති 6 ක දක්වා කාලය තුළ ඇති වන රුධිර වහනය පසු ප්‍රසව රක්තපාතය (Post Partum Haemorrhage - PPH) ලෙස හඳුන්වයි. නූතනයේදී මාතෘ මරණවලින් බහුතරයකට හේතූ වන්නේ ප්‍රසූතියෙන් පසුව අධික ලෙස රුධිරය වහනය වීමයි.

දරුවෙකු යෝනි මාර්ගයෙන් සාමාන්‍ය ලෙස ඉපදීමෙන් පසු 500ml කට වඩා රුධිරය වහනය වීමද පසු ප්‍රසව රුධිර වහනය ලෙස අර්ථ දැක්විය හැක. මෙය අවස්ථා දෙකකදී සිදුවිය හැක.

  • දරු ප්‍රසූතියෙන් පසු පැය 24 ක් තුළ ඇති වන රක්තපාතය - ප්‍රාථමික රක්තපාතය - Primary hemorrhage
  • දරු ප්‍රසූතියෙන් පසු පැය 24 කට පසු ඇති වන රක්තපාතය - ද්වීතියික රක්තපාතය - Secondary hemorrhage

සිසේරියන් ශල්‍යකර්මයකදී රුධිරය 750 - 1000ml දක්වා පිටවිය හැක.

දරු ප්‍රසූතියෙන් පසු ඉවත් වන නියම රුධිර ප්‍රමාණය මැනීම ඉතා අපහසුය. බොහෝ විට ගණනය කරනු ලබන රුධිර ප්‍රමාණය නියමිත අගයෙන් අඩකටත් වඩා අඩු ප්‍රමාණයකි. උල්බ තරලය හා මිශ්‍රව පවතින ගෝස් වලට හෝ වෙනත් රෙදිවල තැවරුණු රුධිර ප්‍රමාණය මැනීමට නිසි ක්‍රමයක් නොමැත. සමහරවිට රුධිරය බාල්දිවල හා බිම විසිරී පවතී.

එක් එක් කාන්තාවගේ රුධිරයේ අඩංගු හිමොග්ලොබින් ප්‍රමාණය අනුව ඒ මවට දරාගත හැකි රුධිර පිටවීම වෙනස් වේ. ඒ නිසා පිට වූ රුධිර ප්‍රමාණයෙන් පමණක්ම පසු ප්‍රසව රුධිර වහනයේ බලපෑම මැනිය නොහැක. නීරක්තිය (anemia) නොමැති නිරෝගී ඕනෑම මවකට වුවද ජීවිත හානි විය හැකි තරම් අධික පසු ප්‍රසව රුධිර වහනයක් වීමට ඉඩ තිබේ. රුධිර වහනය සුළු වශයෙන් වුවද දිගු වේලාවක් පවතී නම් මව වෙනත් රෝග ලක්‍ෂණ නොමැතිව එකවරම කම්පන තත්ත්වයකට පත් වීමට ඉඩ ඇත. මේ නිසා පසු ප්‍රසව රුධිර වහනය අඩු කර ගැනීමට සෑම මවකගේම ප්‍රසූතියේ තුන්වන අදියරයේදී (Third stage of labor) විශේෂ ක්‍රියාමාර්ග ගත යුතුය.

පසු ප්‍රසව රුධිර වහනයට හේතූ
  1. ප්‍රසූතයෙන් පසුව ගර්භාෂය නිසි පරිදි සංකෝචනය (හැකිලීම) නොවී විස්තාරණය තත්ත්වයෙන්ම පැවතීම. මෙය සුලබ භයානක තත්ත්වයකි.
    මේ තත්ත්වයට හේතූ
    • ගර්භාෂය අධික ලෙස ඇදීමට ලක්ව තිබීම (උදා: නිවුන් දරුවන්, උල්බ තරලය අධික වීම, දරුවා විශාල වීම)
    • දරුවන් බොහෝ ගණනක් ලැබී තිබීම (ගර්භාෂයේ මාංශ පේශී අඩු වී ඒ වෙනුවට තන්තු බහුල වීම)
    • ප්‍රසූතිය දීර්ඝ වීම (ගර්භාෂය අක්‍රීය වීම)
    • සන්ටොසිනොන් ඖෂධය යොදා ප්‍රසූතිය උත්තේජනය කිරීම
    • සම්පූර්ණයෙන් නිර්වින්දනය කිරීම (General Anesthesia)
    • වැදෑමහ පහතින් පිහිටීම (Placenta previa - ප්‍රශ්චිත අපරාව)
    • වැදෑමහ ගැලවී යාම (Placental abruption)

  2. අපරාව (වැදෑමහ) සම්පූර්ණයෙන් නොගැලවීම. වැදෑමහ ගර්භාෂ බිත්තියට සවිවී ඇති විට ගර්භාෂය සංකෝචනය නොවේ.
  3. වැදෑමහේ කොටස් රැඳී තිබීම.
  4. උපත් මාර්ගයේ තුවාල/ඉරීම් සිදු වීම.
  5. ගර්භාෂය නොපිට පෙරලීම. (Inverted Uterus)
  6. මුත්‍රාශයේ මුත්‍රා පිරී තිබීම. මේ නිසා ගර්භාෂය නියමිත ලෙස හැකිලීම සිදු කිරීමට නොහැකි වේ.
  7. මීට පෙර ගර්භණිභාවයන්වලදී පසු ප්‍රසව රක්තපාතයක් තිබූ බවට හෝ රුඳුනු අපර (retained placenta) තිබූ බවට ඉතිහාසයක් තිබීම.
  8. ගර්භාෂය තුළ අර්බුද (tumours) උදා: Fibroids තිබීම.
  9. මවගේ රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණය 10gtdl ට වඩා අඩු වීම. මෙය නීරක්තිය ලෙසද හඳුන්වයි.
  10. ගර්භාෂය පිපිරීම
ද්විතීයික පසු ප්‍රසව රක්තපාතය

ප්‍රසූතියෙන් පැය 24 පසුව සති 6 ක කාලයක් තුළ ඇති විය හැකි රුධිර වහනයයි. බොහෝ විට මෙම තත්ත්වය දින 8-14 කාලය තුළදී ඇති වේ.

ද්විතීයික පසු ප්‍රසව රක්තපාතයට බලපෑ හැකි හේතූ
  1. ගර්භාෂය ආසාධනය වීම.
  2. මෙහිදී උණ හෝ දුඟද හමන යෝනි ශ්‍රාවයන් ඇති වේ. මේ සඳහා අවදානම් මව්වරුන් වන්නේ

    • සිසේරියන් ශල්‍යකර්ම කළ මව්වරුන්
    • කලල පටල කලින් පිපිරී යාම (Premature rupture of membrane) මෙවිට උල්බ තරලය ගැබ් ගෙල යෝනි මඟ හරහා ප්‍රසවයට පෙර පිටතට වෑස්සීම සිදු වේ. මෙවිට ගර්භාෂය හා බාහිර පරිසරය අතර සබඳතාවය තුළින් රෝග කාරක ජීවීන් ඇතුළු වීම සිදු විය හැක.
    • ප්‍රසවය දිගු වීම.
  3. රැඳුණු අපරාව (Retained placenta) හෝ පටක කොටස් රැඳී තිබීම.
  4. අසාමාන්‍ය ලෙස ගර්භාෂ බිත්තියේ ගැඹුරු ස්ථරයන්ට සවි වූ වැදෑමහ (Placenta accreta) ගර්භාෂ බිත්තියේ පේහී ස්ථරයට ඇලී පැවතීම.
පසු ප්‍රසව රුධිර වහනය නිසා ඇතිවිය හැකි ගැටලුකාරී තත්ත්වයන්
  • අධික ලෙස රුධිර වහනය නිසා කම්පනයට පත්වීම මත මරණය.
  • ප්‍රසූතියෙන් පසු නීරක්තිය ඇති වීම/රෝගී වීම.
  • ඉතා කලාතුරකින් පිටියුටරි ග්‍රන්ථීය අක්‍රීය වීම. මෙය සිදු වන්නේ පිටියුටරි ග්‍රන්ථියට රුධිර සැපයුම අඩාල වීම නිසාය.
  • මව නැවත ගැබ් ගැනීමට බිය වීම.
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය D.M.I දිසානායක මහතා සමග සකසන ලද ලිපියකි.

Terms and conditions

All the articles and videos that publish on Baby Cheramy website is an intellectual property of the Hemas Manufacturing (Pvt) Ltd. It’s illegal to publish our articles or images on other websites, printed media or electronic media without having a written permission of the company.Read More