දෙවන දරු ප්‍රසූතියට සැරසෙන ඔබ පළමු දරුවා වෙනුවෙන් අවධානය යොමු කළ යුත්තේ කෙසේද?

By: - 2018 දෙසැම්බර් 17
baby


අම්මා කෙනෙකුට දරුවන් තරම් සම්පතක් තවත් නැහැ. දරුවන් කියන්නේ කිරි සුවඳ විහිදුවන මුදු සුමදු සුවඳ හදවතේ ලැගුම් ගන්නා අපූරු සෙනහසක්. මේ බැඳීම පළමු දරුවා දෙවැනි දරුවා පටන් දරුවන් දහ දෙනෙක් දක්වා වුනත් වෙනසක් නැහැ. ඒ තරමටම මව් සෙනහසේ සුවඳ අපූරුයි...

ඒත් දෙවැනි දරු නිමිත්ත ගැන ආරංචි වුනාම අම්මාගේ හිතට පුංචි ගැටලුවක් ඇති වෙනවා. කුළුදුලේ මිහිර වින්ද කිරිකැටියාට ''ලොකු'' පුතා එහෙම නැත්නම් ''ලොකු'' දුව කියලා විශේෂණයෙන් හඳුන්වන්න සිද්ධ වෙනවා. පවුලක් වුනාම දරුවන්ගේ සිඟිති සිනා මැද ජීවත් වෙන්න අවශ්‍යයි. දැන් අම්මා මෙතෙක් තමාගේ හුරතලේ සිටි පුංචි හිතට අලුත් ආරංචිය කියන්නේ කොහොමද....?

පුතාට සෙල්ලම් කරන්න නංගියෙක් හරි මල්ලියෙක් ඕනෙද...සමහර විට මේ පිළිතුරට "ඔව්" එහෙම නැත්නම් "නැහැ" කියලා පිළිතුර ලැබේවි. ඒ පුංචි හිතේ හැටි. පුංචි හිත් බොහොම මුදුයි..මෙලෙකයි...ඔවුන්ට අවශ්‍ය ආදරය නිසා අම්මාගේ ආදරය සෙනෙහස තවත් කෙනෙකුට බෙදෙනවාට අකමැති වෙන්නත් පුළුවන්. ඒ නිසා බොහොම පරිස්සමින් පුංචි හිත් හදන්න ඕන...


සමහර වෙලාවට නොදැනුවත්කමින් උනත් අපේ අම්මලා අතින් මෙන්න මේ දේවල් වෙන්න බැරි නැහැ.

"දැන් ඔයා ලොකුයි.... හෙට අනිද්දාට මල්ලි/ නංගි ආවාම ඔයා ඉස්සර වගේ හුරතල් වෙලා බැහැ" මේ විදිහට කිව්වත් පවුලේ දැන් ඉන්න දරුවා කියන්නෙත් දැනුම් තේරුම් තිබෙන වැඩිහිටියෙක් නොවෙයිනේ...පිපෙන්න වෙර දරන කිරි සුවඳ නිසා පවුලේ පරිවර්තනයක් වෙන බවට ඉඟි ලබා දීම එතරම් හොඳයි කියන්න නම් බැහැ නේද? දරු සිත් මල් වගේ බොහොම මුදුයි... සංවේදීයි. ඉතින් අලුත් අමුත්තා වෙනුවෙන් පවුලේ සූදානම මේ විදිහට සිද්ධ වුණොත් පුංචි හිතට දරා ගැනීම අපහසු වේවි. ඉතිං අම්මලා තව ටිකක් මෙතැනදී හිතන්න ඕනේ.

අනිත් එක තමයි "අපි නම් නංගිට /මල්ලිට ආදරේ නැහැ. අපි ආදරේ ඔයාට විතරයි එයාට ඇවිදින්න කතාකරන්නවත් බැහැනේ...අපේ පැටියා තමයි.. අපිට හොඳ.." හෙට අනිද්දාට පවුලට එකතු වෙන කිරි කැටියා ගැන මේ විදිහට කියන එකත් සුදුසු වෙන්නේ නැහැ.

මේ විදිහට පූර්ව සංකල්ප ගොඩ නැගුවාම පවුලේ පළමු දරුවා නිතරම හිතන්නේ නංගී මල්ලී නොව තමා පවුලේ වැදගත් චරිතය බවයි. පුංචි හිතට සමගිය සමාදානය වැනි සංකල්ප තෝරා බේරා ගන්න බැහැ. අනිත් අතට පුංචි හිතෙත් තරගකාරීත්වය ගැන සංකල්ප නැතුවා නොවෙයිනෙ නේද?


දරුවාගේ හිත සනසන්න මෙන්න මේ විදියට කරන්න ඔබට පුළුවන්.

  • නංගියෙක් මල්ලියෙක් ආවම ඉන්න දරු පැටියට ලැබෙන වාසි ගැන මෙන්න මේ විදියට කියා දෙන්න
  • "දැන් අම්මා නංගි /මල්ලි ගෙදර එක්කන් ආවට පස්සේ මගේ පැටියාට එයත් එක්ක සෙල්ලම් කරන්න පුළුවන් නේ..."

    ඒ වගේම "හෙට අනිද්දාට අපේ පැටියාටත් සෙල්ලම් කරන්න නංගියෙන් මල්ලියෙක් එනවා ඔන්න"

  • අපි නංගියාව /මල්ලියාව හොඳට බලා ගමු නේ...
  • "දැන් ඉතින් පුතාටත් පුළුවන් නංගිගේ වැඩට අම්මාට උදව් වෙන්න නේද...අපි ඔයාට වගේම එයාටත් ලස්සන ඇඳුම් මහමු හොදේ..." බොහෝ දරුවන් නව ජන්ම ලබන දරුවාට අලුත් රෙදි පිළි සකස් කරන විට අකමැතියි. ඒ නිසා මෙවැනි වැඩකටයුතුවලදී පළමු දරුවාගේත් සහයෝගය ලබා ගන්න පුළුවනි. ඔවුන්ට අලුත් බබාගේ රෙදි පිළි අත තියන්නවත් නොදී හිටියොත් පුංචි හිතේ ඇති වෙන්නේ තමා නොසලකා හැරියාය යන අදහසක්. ඒ ඉච්ඡාභංගත්වයට පළමු දරුවා පත් නොවෙන විදියට වැඩ කටයුතු සැලසුම් කරගැනීම තමයි වඩාත්ම සුදුසු වෙන්නේ.

  • හෙට අනිද්දාට නංගිත් එක්ක අත් අල්ලාගෙන අපි යමු නේද..
  • "ඔයාගේ යාලුවන්ටත් නංගිලා මල්ලිලා ඉන්නවානේ...මයෙ පැටියාට මෙච්චර කල් නංඟියෙක් මල්ලියෙක් හිටියේ නැහැනේ..ඔන්න දැන් මයේ පැටියාටත් හෙට අනිද්දාට නංගිගේ එහෙම නැත්නම් මල්ලිගේ අත අල්ලාගෙන පාක් යන්න, බීච් යන්න පුළුවන්.."

  • පළමු දරුවාටත් වෙනදාට වඩා අවධානය දෙන්න..
  • අම්මාගේ ඇඟට තිබෙන අපහසුවත් සමග පළමු දරුවා වැඩි අවධානයක් ලබා ගැනීමට කරන කරදර දරා ගැනීම අපහසු නිසා අම්මාටත් ටිකක් තරහ යාවි. ඒත් මුදු සුමුදු පුංචි හිත එයින් බොහෝ රිදෙන්න පුළුවන්. ඒ නිසා "මගේ පැටියෝ...අම්මාට ඇඟට අමාරුයි...මයෙ පුතාට තනියම නිදාගන්න බැරිද...අත්තම්මාට කියල බත් ටික බෙදා ගෙන කන්න පුළුවන් නේද...අම්මා ටිකක් මහන්සියට ඉන්නම්..." යනුවෙන් බොහොම මුදු මෙලෙක් විදිහට දරුවාට ඔබේ අපහසුව කියා දෙන්න.

  • තාත්තාටත් වැඩ කොටසක් තියෙනවා
  • දරු ප්‍රසුතියට සූදානම් බිරිඳට දැන් තිබෙන ශාරීරික අපහසුකම් එක පැත්තක...අනිත් පැත්තෙන් පළමු දරුවාගේ මානසිකත්වය...මේ අතරට තාත්තා මැදිහත් වෙලා, දරුවාට වෙනදාට වඩා සමීප වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අම්මටයි පැටියාටයි නිදහසේ හැසිරෙන්න අවස්ථාව දෙමින් නිවසේ වැඩකටයුතුවලට සහයෝගය ලබා දෙන්නත් පුළුවනි.

අම්මාගේ දෙවැනි දරු ප්‍රසුතියට සූදානම් වෙන කාලය වගේම රෝහල්ගත වීම සහ නව ජන්ම දරුවා නිවසට පැමිනියාට පසුවත් පළමු දරුවා ගැන බොහොම විමසිල්ලෙන් සිටීම වැදගත් වෙනවා. කුස තුළ සිටියාට වඩා මේ කාලය ඉතාම වැදගත්. නිවසේ පරිසරය උඩුයටිකුරු වෙන නිසා නිතරම පළමු දරුවා ගැන විමසිල්ල, ආදරය, ආරක්ෂාව සලසා දීම අත්‍යවශ්‍යයි. පුංචි හිතේ තියෙන අහිංසක ඉරිසියාවල් මේ කාලයේදී ඉස්මතු වෙන්න වගේම අපි වචනයෙන් හිත හැදුවාට මේ අහිංසක හිත්වලට දැනෙන රිදීම නිසා ආත්මානුකම්පාව, අලුත් කිරිකැටියා සමග තරහ, පවුලේ අය නොරිස්සීම වැනි පුංචි පුංචි වෙනස්කම් ඇති වෙන්න බැරිකමක් නැහැ. ඒත් අපි පළමු දරුවා වෙනදාටත් වඩා හොඳින් රැකබලා ගැනීමෙන් මුදු මොළකැටි හිත නොරිදෙන විදිහට කටයුතු කරන්න පුළුවනි.

පුන්‍යා චාන්දනී ද සිල්වා

සම්බන්ධිත ලිපි

Terms and conditions

All the articles and videos that publish on Baby Cheramy website is an intellectual property of the Hemas Manufacturing (Pvt) Ltd. It’s illegal to publish our articles or images on other websites, printed media or electronic media without having a written permission of the company.Read More