ගැබිනි සමයේ දියවැඩියාව ඇති වුවහොත් අවදානම් තත්ත්ව සහ සැලකිලිමත් විය යුතු අකාරය ගැන දැනුවත් වෙමු

By: - 2018 නොවැම්බර් 14
baby


බහුතරයක් ගැබිනි මව්වරුන් සාමාන්‍ය තත්ත්වයෙන් තම ගැබිනි සමය ගත කළද සුළුතරයක් හෝ නොයෙකුත් සංකූලතාවයන්ට මුහුණ දීමේ අවදානමක් ඇති බව වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමග අද විට සොයාගැනීමට හැකියාව පවතී. ගැබිනි කාන්තාවක් යොමු කෙරෙන සති 11 - 14ත් අතර ස්කෑන් පරීක්ෂණයේදී අනාවරණය කරගැනීමට හැකි වන ගැබිනි කාන්තාවක් දියවැඩියා තත්ත්වයට ගොදුරුවීමේ අවදානමක් තිබේද නැද්ද යන්න මේ සඳහා එක උදාහරණයකි.


ගැබිනි සමයේ දියවැඩියා තත්ත්වය කොටස් දෙකක් යටතේ වර්ග කළ හැකිය.

  1. ගැබ් ගැනීමට පෙර සිටම පැවතිය හැකි දියවැඩියාව තත්ත්වය
  2. දරුවෙකු පිළිබඳව බලාපොරොත්තුවෙන් සිටින කාන්තාවක් දියවැඩියා තත්ත්වයෙන් පෙලෙන අතරේදී ගැබ් ගැනීමක් සිදුවේ නම් එය මේ යටතට අයත් වේ. එනම් ඒ මව ගැබ් ගන්නේ දියවැඩියා තත්ත්වයේ සිටියදීමය. නමුත් පූර්ව ගර්භණි සායනවලදී ලබා දෙන උපදෙස් පරිදි මෙවැනි තත්ත්වයක සිටින මවක් අනිවාර්යෙන්ම වෛද්‍ය උපදෙස් අනුව රෝගය පාලනය කරමින් ගැබ් ගැනීමට සුදුසු තත්ත්වයට පැමිණෙන තුරු සිටීම වැදගත් වේ. ඒ සඳහා පූර්ව ගර්භණි සායනවලදී පිළිසිඳ ගැනීම ප්‍රමාද කිරීම සඳහා සුදුසු උපත් පාලන පිළිබඳව දැනුවත් කිරීමද සිදු කෙරේ. මෙවැනි තත්ත්වයක් ඔබටද පවතී නම් වෛද්‍ය උපදෙස් පරිදි පිළිසිඳ ගැනීම ප්‍රමාද කිරීම බොහොමයක් සංකුලතා මගහරවා ගැනීමට හැකි වනු ඇත.

  3. ගැබ් ගැනීමෙන් පසුව ඇති විය හැකි දියවැඩියා තත්ත්වය
  4. ගැබ් ගැනීමෙන් පසු දියවැඩියාව තත්ත්වය ඇති වූ හෝ ගැබ් ගැනීමට පෙර තමාට දියවැඩියාව ඇති බව නොදැන සිටි හෝ මව්වරුන් මේ යටතට වැටේ. මේ තත්ත්වය මත සෑම ගැබිනි මවක්ම සති දොළහේදී දියවැඩියාව ඇති බව අනාවරණය කර ගැනීම සඳහා අදාළ පරීක්ෂණ වෙත යොමු කෙරේ. ගැබිනි සමයේ හටගන්නා දියවැඩියා තත්ත්වය ඇති වන්නේ සති 16 සම්පූර්ණ වීමෙන් අනතුරුවයි. සති 16න් පසු දියවැඩියා අවදානමක් නැති මව්වරුන් පවා නැවත සති 24 - 28 දීත් පරීක්ෂණයට යොමු කෙරේ. එසේම මෙම තත්වයට පත්වීමට වැඩි අවධානමක් ඇති මව්වරුන් ලෙස ස්ථූල මව්වරුන්, දියවැඩියා ඉතිහාසය සහිත ඥාතීන් සිටින මව්වරුන්, වයස අවුරුදු 35 හෝ එය ඉක්ම වූ මව්වරුන්, බර 4 Kg ට වැඩි දරුවන් බිහි කළ/අංගවිකල දරුවන් බිහි කළ/මළ දරු උපත් සිදු වූ ඉතිහාසයක් සහිත මව්වරුන් මෙන්ම මුත්‍රාවල සීනි ප්‍රමාණය ඉහළ මට්ටමක පැවති මව්වරුන් දැක්විය හැකිය.

මෙහි සඳහන් කළ පළමු සහ දෙවන කාණ්ඩ දෙකේදීම ගැබිනි මවකගේ දියවැඩියා තත්ත්වය පාලනය කෙරෙන්නේ නම් එකම ආකාරයකටය. සති 11 - 14 අතර සිදු කෙරෙන දින නිර්ණය කෙරෙන ස්කෑන් පරීක්ෂණය සහ ඇනෝමලී ස්කෑන් පරීක්ෂණයත් දියවැඩියා තත්ත්වයේ සිටින මව්වරුන්ගේ සංකුලතා කල්තියා හඳුනා ගැනීමට බොහෝසෙයින් වැදගත් වනු ඇත. එම පරීක්ෂණ ප්‍රතිපල මත වෛද්‍යවරුන් ගැබිනි මවගේ තත්ත්වය පිළිබඳව අදහසක් ලබාගනී. එසේම ග්ලුකෝස් ලබාදී පැය දෙකකට පසුව සිදු කරන රුධිර පරික්ෂාව හා පැය 10ක් නිරාහාරව සිට යොමු කෙරෙන OGTT (Oral Glucose Tolerance Test) පරීක්‍ෂණය මගින්ද දියවැඩියා තත්ත්වය අනාවරණය කරගත හැකිය.

ගැබිනි සමයේ දියවැඩියා තත්ත්වය නිසි පරිදි පාලනයට

ආහාර පාලනය මගින් පාලනය කළ හැකි මට්ටමේ දියවැඩියා තත්ත්වයක් නම් ඒ සඳහා සුදුසුකම් සහිත පළපුරුදු වෛද්‍ය වෘත්තිකයන්ගේ සේවය ලබා ගැනීමට යොමු විය යුතුය. නමුත් ආහාර පාලනය මගින් පාලනය කළ නොහැකි මට්ටමේ දියවැඩියා තත්ත්වයක් නම් වෛද්‍ය උපදෙස් හා නිර්දේශය මත අවශ්‍ය මාත්‍රාවෙන් සති 16ට පෙර ඇස්ප්‍රින් ඖෂධය සහ ෆෝලික් අම්ල විටමිනය ආරම්භ කිරීමට හෝ අවශ්‍ය මව්වරුන්ට ඉන්සියුලීන් එන්නත් ලබාගැනීමට උපදෙස් ලබාදේ.

ගැබිනි සමයේ දියවැඩියා තත්ත්වයෙන් පෙලෙන ඔබ,
  • සති දෙකකට වරක් රෝහල්ගතව රුධිරගත සීනි ප්‍රමාණය පරීක්ෂා කරන්න.
  • සති 20 සම්පූර්ණ මේ තත්ත්වයේ මව්වරුන් සතියකට වරක් හෝ රුධිර පීඩනය මැන බලන්න.
  • වෛද්‍යවරයාගේ නිර්දේශය මත නියමිත කාල සීමාවේදී ස්කෑන් පරීක්‍ෂණ සඳහා යොමු වී කලල වර්ධනය පරීක්ෂාවට ලක්කරන්න.

ගැබිනි මවට දියවැඩියා තත්ත්වය පැවතීමෙන් මවටත් කලලයටත් ඇති විය හැකි අවධානම් තත්ත්ව.

දියවැඩියාවෙන් පෙලෙන මව
  • ගබ්සා වීමේ අවදානම.
  • ප්‍රසූතියේදී සංකූලතා ඇති වීම.
  • අධි රුධිර පීඩන තත්ත්වයට ගොදුරු වීම.
  • මළ දරු උපත්.
  • සාමාන්‍ය ප්‍රසූතියට යොමු වීමට ඇති අවදානම.
ළදරුවා
  • බිළිඳාගේ වර්ධනය අධික වීම.
  • මොළයේ, හෘදයේ මෙන්ම ඇතැම්විට අස්ථීවල අසාමාන්‍යතා.
  • නියමිත අවස්ථාවට පෙර උල්බ කෝෂය (වෝටර් බෑග්) කැඩී යාම.
  • බිහිවන ළදරුවා ස්නායු ආබාධ ඇති දරුවෙකු වීම.
  • කශේරුකාවේ පහළ කොටස්වල ඇති විය හැකි අසාමාන්‍යතා.
  • නොමේරු ළදරුවන්/මල දරු උපත්.
  • ෂෝල්ඩර් ඩිෂ්ටොෂියා තත්ත්වය නිසා (ප්‍රසුතියේදී සිදු විය හැකි අනතුරු නිසා) ස්නායු ආබාධ පමණක් නොව ජිවිත අවදානමට පවා ලක්විය හැකිය.

සාමාන්‍යයෙන් වෛද්‍ය උපදෙස් මත ක්‍රියාත්මක වෙමින් කෑම පාලනය මගින් දියවැඩියා තත්ත්වය පාලන කරන මව්වරුන් සති 11 - 14ත් අතර ස්කෑන් පරීක්ෂණයෙන් ලැබෙන ප්‍රසූත දිනයේ සිට සතියක් ඇතුළත ද ඖෂධ හෝ ඉන්සියුලින් මගින් දියවැඩියා තත්ත්වය පාලනය කරන මව්වරුන් නම් සති 38 -39 ඇතුළත ද සංකූලතා සහිත මව්වරුන් සති 37 -38 කාලය ඇතුළත ද ප්‍රසුතිය සිදු කළ යුතු වේ. එසේම ප්‍රසූතියෙන් පසු ඖෂධ ලබාගැනීම/ අඩු කිරීම/ නතර කිරීම සම්බන්ධව වෛද්‍ය උපදෙස් ලබා ගැනීමත් වෛද්‍යවරයා ලබාදෙන නියමිත දිනවලට නැවත පරීක්ෂණ වෙත යොමුවීමත් සිදුකළ යුතුය.

සම්බන්ධිත ලිපි

Terms and conditions

All the articles and videos that publish on Baby Cheramy website is an intellectual property of the Hemas Manufacturing (Pvt) Ltd. It’s illegal to publish our articles or images on other websites, printed media or electronic media without having a written permission of the company.Read More