දරු පැටියා වෙනුවෙන් අම්මෙක්ගේ පියයුරේ කිරි නිපදවෙන්නේ මෙන්න මේ විදියට

By: - 2019 මාර්තු 19
baby

මවකගේ කුසෙහි ඇති දැඩි වූ කිරි කැටියෙක් මෙලොවට බිහි වූ විගස පෝෂණය ලබන්නේ සොබාදමේ අපූරු දායාදයක් ලෙස මවගේ පියයුරේ නිපද වෙන කිරෙනි. පියයුරේ කිරි නිපදවෙන ආකාරය පිළිබඳව ඔබව දැනුවත් කිරීම වැදගත් ලෙස සිතුවේ ඒ දැනුවත් බව හොඳින් කිරි නිපදවීමට ඔබට උපකාරී වන නිසාය.

පහත දක්වා ඇත්තේ පියයුරක ව්‍යුහය පෙන්වන රූප සටහනකි.



රූපයේ දක්වා ඇති කිරි නිපදවෙන සෛලවලින් ප්‍රෝලැක්ටික් නම් හෝමෝනය මගින් කිරි ශ්‍රාවය කරයි. පේශී සෛල මගින් ඇතිවන තෙරපීමෙන් නිපද වූ කිරි, නාල හරහා ක්‍ෂීරධර කෝඨරකය වෙත ගමන් කරයි. මෙහි කිරි එකතු වේ. මෙම ක්‍ෂීරධර කෝඨරක පියයුරෙහි ඇරියෝලාව කොටසෙහි එනම් තනපුඩුව වටා ඇති කළු කොටසෙහි පිහිටයි. දරුවා කිරි උරා බොන විට මෙම කළු පැහැති කොටස දරුවාගේ මුඛය තුළට සම්පූර්ණයෙන් ඇතුළු විය යුතුය. තොල් මගින් ඇතිවන තෙරපීමෙන් එහි එක්වී ඇති කිරි තන පුඩුව හරහා දරුවාගේ මුඛයට පැමිණේ. එහි එක්වූ කිරි ඉවත් වන විට නාල හරහා නිපද වූ කිරි, ක්‍ෂීරධර කෝඨරක වෙත පැමිණේ. මේ ආකාරයට දරුවාට මව්කිරි ලැබේ.

  • සෑම කිරි වේලකටම පසුව ප්‍රෝලැක්ටික් හෝමෝනය ශ්‍රාවය වී එමගින් ඊළඟ කිරි වේල නිපදවයි. දරුවා කිරි උරා බීමේදී තන පුඩුව මගින් නිපදවෙන සංවේදී උත්තේජනය හේතුවෙන් රුධිරයේ ප්‍රෝලැක්ටින් ශ්‍රාවය වේ.
  • ප්‍රෝලැක්ටින් හෝමෝනය වැඩිපුර රාත්‍රියේදී නිපදවෙන අතර ඩිම්බ පිටවීම නවත්වයි. එමගින් මවගේ මානසික තත්ත්වයද සහනදායී වේ.
  • රුධිරයේ ඇති ඔක්සිටොසින් නම් හෝමෝනය කිරි ධාරාව ඇති වීමට මුල පුරයි. කිරිදෙන අවස්ථාවේ හෝ ඊට ප්‍රථම ක්‍රියාත්මක වේ. මෙමගින් ගර්භාෂයේ හැකිලීම ද සිදුවේ. එම නිසා දරුවා ඉපදී ඒ ආසන්න කාලයේදී කිරි දෙන විට මවගේ පහළ උදරයේ (යටි බඬේ) වේදනාව ඇති වේ.
  • දරුවා දැකීම, දරුවාගේ හඬ, දරුවා කෙරෙහි ආදරය හා ආත්ම විශ්වාසය ඔක්සිටොසින් ප්‍රතීකය උත්තේජනය කරන අතර අසහනය, කම්පනය, මානසික පීඩාව, වේදනාව, සැකය ආදිය ඔක්සිටොසින් ශ්‍රාවයට බාධා කරයි. එවිට කිරි අඩුවීම හෝ නැතිවීම සිදුවිය හැක. මේ නිසා දරුවාට කිරි දෙන කාලයේදී මවගේ මානසිකත්වය යහපත් වීම වැදගත් වේ.

  • ඔක්සිටොසින් ප්‍රතීකය හොඳින් ක්‍රියාත්මක වන විට මවට දැනෙන ලක්‍ෂණ.
  • දරුවාට කිරි දීමට පටන් ගැනීමට ඉතා ආසන්නව හෝ කිරිදෙන කාලය තුල තම පියයුරු වල මිරිකෙන ස්වභාවයක් හෝ නලියන ස්වභාවයක් ඇති වේ.
  • බිළිඳා ගැන සිතන විට හෝ ඇඬීම ඇසෙන විට පියයුරුවලින් කිරි ගලා ඒම.
  • දරුවා එක් පියයුරකින් කිරි උරන විට අනෙක් පියයුරෙන් කිරි වෑස්සීම.
  • බිළිඳා කිරි බී අත්හල විටද සිහින් ධාරාවක් ලෙස පියයුරුවලින් කිරි ගලා ඒම.
  • දරු උපතට පසු පළමු සතියේදී දරුවා කිරි බොන විට ගර්භාෂය හැකිලීම නිසා මවට උදර වේදනාව දැනීම හා සමහර විට වේගවත්ව යෝනි මාර්ගයෙන් රුධිරය ගැලීම.

  • පියයුරු වල කිරි නිපදවීම පාලනය
  • කිරි නිපදවීම අඩු කිරීමට හෝ යටපත් කිරීමට සමත් ද්‍රව්‍ය මව්කිරිවල අඩංගු වේ. පියයුරක කිරි වැඩි ප්‍රමාණයක් ඉතිරිව තිබෙන විට තවත් කිරි ශ්‍රාවය කිරීම මෙම නිශේධක (ප්‍රති උත්තේජක, කිරි නවත්වන රසායනික) මගින් වළක්වයි.
  • පියයුරක අනවශ්‍ය ලෙස කිරි එකතු වීම පියයුරට පීඩාවකි. එම පීඩාවලින් ආරක්‍ෂා වීම මෙම නිශේධක නිසා සිදු වේ. බිළිඳා මිය යාම හෝ වෙනත් හේතුවකට කිරි උරා බීම නැවැත්වුවහොත් ස්වභාවයෙන්ම මෙසේ සිදුවිය යුතුය.
  • කිරි උරාබීම හෝ කිරි දොවා හැරීම මගින් පියයුරෙන් කිරි ඉවත් කළ හැකි නම් නිශේධකයද ඉවත් වේ. එවිට කිරි නිෂ්පාදනය වැඩිපුර සිදු වේ.
  • බිළිඳා එක් පියයුරකින් කිරි උරා නොබොන විට එහි කිරි නොමැති වීමත් එක් පියයුරකින් කිරි වැඩිපුර උරා බොන විට එහි වැඩි ප්‍රමාණයක් කිරි නිපදවා අනෙක් පියයුරට වඩා විශාල වීම නිශේධක ක්‍රියාත්මක වීමට කදිම නිදසුනකි. මේ නිසා නොකඩවා කිරි නිපදවන්නේ නම් එම පියයුර හිස් කළ යුතුය. (කිරි ඉරීම/දොවා ඉවත් කිරීම).
කුරුණෑගල, පළාත් මහා රෝහලේ නොමේරු ළදරු දැඩි සත්කාර ඒකකයේ සූතිකා පුහුණු හෙද නිලධාරිනි (1 ශ්‍රේණිය) ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මියගේ ලිපියකි.

Terms and conditions

All the articles and videos that publish on Baby Cheramy website is an intellectual property of the Hemas Manufacturing (Pvt) Ltd. It’s illegal to publish our articles or images on other websites, printed media or electronic media without having a written permission of the company.Read More